Monday, May 30, 2011

ඔහු

මම තවමත් සිතමි.ඒ මා ‍කොතැනින් කියන්නට පටන්ගන්නේ යැයි කියාය.ඒ කියන්නට යමක් නැතිකමම නොව ඔහුගේ ජීවිතය අරබයා මේ කතාව මා අරබන්නේ කොතැනින් දැයි නොහැගෙන බැවිනි.ලියන්නටයැයි කියා මහාලොකු අතීතයක් විශාල අත්දැකීම් සම්භාරයක් හෝ ඔහුට නැත.යන්තම් ඔහුට හට ඇත්තේ අවුරුදු දහනමයක ඉතා කෙටි අතීතයකි.ඒ කෙටි අතීත මතකයෙන් බොහෝ කොටසක් පාසලත් එහි යහලුවනුත් විසින් අරක්ගෙන ඇත.


ඔහු කරන්නේ කුමක්දැයි කියනවාට වඩා ඔහු නොකරන්නේ මොනවාදැයි කීම පහසුයැයි මටහැගේ.වැරදිවැඩ කිහිපයක් හැර අනෙක් සියලුම හොද නරක වැඩ ඔහු කරයි.ඔහුගේ මිතුරු පැතුම් කියන්නාක් මෙන් පැතලි චරිතම දකිනා වූ මිනිසුන්ගෙන් හෙබි මේ ලෝකය ඔහු හොද සිරිමත් කෙනෙකුන් ලෙස හැදින්වූවද නරක චොප්පෙ අයියා කෙනෙකු ලෙස හැදින්වූවද ඔහු එසේ නොවේ.ඔහු නරක චොප්පෙ අයියා කෙනෙකුවත් හොද සිරිමත් කෙනෙකුවත් නොව ඒ චරිත දෙක අතර සිටින නොපැතලි චරිතයකි...හොද චොප්පෙ අයියා කෙනෙකු කීවද වැරදි නැත.

ඔහු විටෙක ඒ හා සමවයසේ බොහෝ අයවලුන්ට වඩා වාසනාවන්ත යැයි මට සිතේ.ඒ ඔහුට මුලු සිතින්ම ආදරය කරන්නට ගැහැනු ලමයෙකු හැර අනෙක් ඔනෑ කරන බොහෝ දේ ඕනෑවටත් වඩා ලැබී ඇති බැවිනි.නිදහස ඒ අතර උපරිම ස්ථානයක ඇත.

ඔහු බොහෝ ලෙස වර්ථමානය විදියි.හදුනන්නන් බොහොමයක් ඔහු අමුතු චරිතයක් ලෙසත් කාලය කා දමන්නකු ලෙසත් මුහුනට නොකීවමුත් යටි සිතින් සිතනා බැව් ඔහු දනී.නමුත් ඒ ගතිය දැන් ඔහුගෙන් වෙන්කරනු බැරිලෙසටම බැදී ඇති බව මා හොදාකාරවම දනිමි.ඔහු අනාගතය උදෙසා තම වර්ථමානය ආයෝජනය කිරීමට දැඩි මැලිකමක් දක්වන්නෙකි.ඒ ඔහු වර්ථමානය බෙහෙවින් විදින්නට ආසා කරන්නෙකු හෙයිනි.විටෙක ඔහුට බොහෝ දොස් අසන්නට ලැබෙනුයේ ඒ නිසායැයි සිතේ.ඔහු අතීතය ගැන කිසිදු විටක දුකින් සිහිනොකරන්නේ සතුටින් සිහිකරනුයේ අතීතයද විදි නිසායැයි සිතමි.

අනාගතය ගැනද වැඩිපුර නොසිතත් ඔහු අන්සියල්ලන්ම සේ විවේකවෙලාවන්හිදී සිහින මවයි.තරුනයෙකු හා තරුනියක ආදර චිත්‍රපටයක් බලා සතුටු වන්නේ යම් සේද ඔහු ඒ සිහින බලමින් එලෙසින් සන්තෝශයට පත් වෙයි.අතීතයත් වර්ථමානයත් පටලා අනාගතය හා මුසුකොට ඔහු හා තරගයට සිහින මවන්නට දක්ෂ අධ්‍යක්ෂක වරයෙකුටත් ඉතා අපහසු බව මා කියන්නේ අත්දැකීමෙනි.

ඔහු බොහෝ කාලයක් යහලුවන් සමග ගෙවයි.විටෙක ඔහුට යහලුවෝ පමණටත් වඩා සිටිතැයි මට සිතේ.නමුත් ඊට නිවැරදිම ගැලපෙනම වදන යහලුවෝ ද ඔහු දැනහදුනන්නෝ දැයි කියා මට හරියට නිච්චි නැත.කෙසේ උවත් ඒ පවුලෙන් උරුමවූ ජානමය අභාශයක් නිසායැයි යැයි සිතෙනුයේ ඔහුගේ පියාද,පියාගේ සහෝදරයින් ගැනද මා හොදහැටි දන්නා බැවිනි.චන්දෙ ඉල්ලුවොත් යාලුවොන්ගෙ චන්දෙන්ම උබට දිනන්න පුලුවන් යැයි කලින් කී ඔහුගේ බාප්පා ඔහුට කියනු ඇසුනේ දිනකිහිපයකට උඩිනැයි සිතමි.

විටෙක ඔබ ඔහුව කාලයක පටන් දන්නා මුත් මා තරමටම නොදන්නා බව මා දනිමි.මා දන්නා ඔහු ගැන වචන ගණනකට සීමා කොට විස්තර කරන්නටත් ,හිතට දැනෙන දේ ඒ ලෙසින්ම අකුරු කරන්නටත් සපන් දක්ෂ ලියන්නෙකු නොවන්නෙමි.එසේ හෙයින් ඔහු ගැන මෙතෙකින් නිමකරමි.

මා ඔහු හොදින් හදුනන්නෙක් !!

Wednesday, April 27, 2011

අවසාන ආරම්භය !



මා මෙලෙස යලි බ්ලොගයක් ලිවීම අරබන්නේ අනික් වතාවන් ලෙස නොව යලි මේ නම් ගම් වෙනස් නොකරන දැඩි අදිටනකිනි.මේ දක්වා මා විසින් නොයෙක් නම් වලින් ලියූ ‍බ්ලොග් කිහිපයකි.නමුත් ඒ කිසිවක අර්ථාන්විත යමක් විශේෂ යමක් ලියවූවාදැයි මට සැකසහිතය.දැන් මා ඒ විකාර ලිවීමෙන් විඩාපත්ව ඇතත් මගේ ලිවීමේ ආසාව ඊට වඩා බොහෝ බලවන්ත නිසා මා මෙය ඇරබුවෙමි.‍මෙහි නමත් ශයිලියත් මා සිත් ගත්තේ ඇයි දැයි මා නොදන්නා උවත් මා වැනි පුංචි කොලුගැටයෙකු වික්‍රමසින්හයන්ගෙන් එය සොරකම් කලගත්තාට ඔහු අහිතක් නොසිතනු ඇතැයි සිතමි.

මෙතෙක් කලක් ලියූ ලියමන් බොහොමයක් විකාර වූයේත් සමහරක් ඇරබුමේදීම කදුලක් වූයේත් මා හට ලියන දේ හරි හැටි එක මාතෟකාවක් ඔස්සේ ගෙනයාමට ඇති නොහැකියාව නිසා යැයි සිතමි.දැනිදු ඒ හැකියාව මා හට නැතත් මා ඒ උත්සාහයෙන් මීදී මට අවශය අයුරින් මෙහි ලියනු ඇත.විටෙක එය විනාකිරි,ලූණු,මිරිස් හරිහැ‍ටි මිශ්‍ර නොවූ අච්චාරුවක් විය හැක.එය මා විසින් සාදන්නේ මා හට ඇති සාගින්නට(ඇම්මට) උවත් ඉන් ඇබිත්තක් තොල ගෑ ඔබට ඒ ගැන දැනෙන අදහස ඇසීමට මා බලාපොරොත්තු නොවෙතැයි කියා බොරුවක් ඇදබාන්නට තරම් මා කුහකයෙක් නොවෙමි.

ජයතිලක කම්මැලිවීර මහතාගේ පොතක තිබූ මා සිත්ගත් උපුටනයක් මෙහි දමන්නට කැමැත්තෙමි.

ගලායන ඇලක් දෙස බලා සිටින විට ඒ දියමත නොයෙක් දේ පාවී යමින් තිබෙනු දැක ගන්නට පුලුවන.එසේ පාවී යන දේවල් දියපාරේ තද ගැලීම ඇති මැද කොටසින් ඉවත්වී අයිනක දියට නැමුනු අත්තක් ළග හෝ පැලෑටි ගොන්නක් ළග මදක් නවතින අයුරු බලා සිටීම ආස්වාදජනකය.පාවෙන සමහර දේවල් එසේ අයින් ගසා තැනක රැදෙන නමුත් ටික වේලාවක් එතැන කැරකැවෙමින් හිද යළිත් සැඩපහරට එක් වී පාවී යයි.එසේ ටික දුරක් ගොස් තවත් තැනක රැදෙයි.
සමහර විට එතැන ඒවන විටත් රැදී සිටින සුන්බුන්වලට එක් වී තැන්පත් වෙයි.

එසේ රැදෙන්නේ මලක් විය හැකිය.කිසිවකු විසින් දියපාරට විසිකල අපද්‍රවයක් වන්නට පුලුවන.ප්ලාස්ටික් බොනික්කෙකු ගේ කදක් වන්නට පුලුවන.ඒ හැම ‍ලොකු කුඩා වස්තුවකටම වෙන වෙනම ඉතිහාසයක් නැත්නම් තමාගේම කතාන්දරයක් තිබේ.අපි ජීවත්වෙමින් ලබන අත්දැකීම් ඔස්සේ පහළවන හැගීම් සංවේදනාද එබදුය.ඔබ කැමති නම් ස්මරණය නැමැති දිය ඇලේ රොඩු කුණු අතරින් යමක් ගොඩගෙන සෝදා පවිත්‍ර කර නිතර නිතර හැඩ බලන්නට යන එන්නන්ට පෙන්වන්නට ආලින්දයේ තබා ගත හැකිය.

මින් ඉදිරියට මගේ ඒ ආ‍ලින්දයට එන්න.ඒ ගලායන මතකය නැමැති දිය ඇලෙන් ඇහිද ප්‍රදර්ශනයට තබා ඇති දේ නරඹන්න.එසේ නරඹන අතර ඒවා ඇහිද ගත්තේ කොහෙන්ද ශුද්ධ පවිත්‍ර කෙරුණේ කෙසේද යන තොරතුරුද මම ඔබට කියමි.එසේ නම් මේ ආලින්දය අද සිට ඔබට නිරතුරු විවෘතව තැබෙනවා ඇත.විදින්න මා මේ ලෝකය දකින අයුරු. . . . . . .

(පින්තූරය රචියගෙන්)